Jupiter – Saturn conjunction observed by the 45 cm Cassegrain Telescope

දෙසැම්බර් 21 දා සිදුවූ බ්‍රහස්පති - සෙනසුරු දුර්ලභ ග්‍රහ පෙළගැස්ම

බ්‍රහස්පති හා සෙනසුරු ,ග්‍රහයින් අප සෞරග්‍රහ මණ්ඩලයේ ඇති විශාලතම ග්‍රහයින් දෙදෙනා වන අතර මෙම ග්‍රහ ලෝක දෙක එකට එකතුව තනි තාරකාවක් ලෙස දිස්වන විරල සිදුවීමක්  දෙසැම්බර් 21 දා  ලෝ වාසීන්ට දැක ගැනීමට හැකිවිය.  

මෙම සිදුවීම අප වෙසෙන පෘථිවිය හා බ්‍රහස්පති , සෙනසුරු යන  ග්‍රහලෝක දෙක ඒක රේඛියව පිහිටීමෙන් ඇතිවන්නක් වන  අතර  එය සෑම වසර 20 කටම වරක්  සිදුවන විරල සිදුවීමකි .එම නිසා  මෙම දර්ශනය “මහා සංයෝජනය ”(Conjunction) ලෙස ද හැඳින්වෙන අතර අපට දිස්වෙන කෝණික දුර ප්‍රමාණය ඒ ඒ වර්ෂවලදී වෙනස් අගයන් ගනී.  2000 වසරේ මැයි 31 වනදා සිදු වූ ආසන්නතම මෙවැනි සිදුවීමේ කෝණික දුර අංශක 1.2 කි.නමුත් මෙවර එම දුර ප්‍රමාණය අංශක 0.1 ක් තරම් සමීප අගයක් ගැනීම විශේෂත්වයකි. මීට පෙර මෙවැනි සමීපවීමේ අවස්ථාවකට බ්‍රහස්පති හා සෙනසුරුගේ පැමිණීම සිදුව ඇත්තේ 1623 වසරේ ජුලි 16 වනදා වන අතර නැවත මෙවැනි කෝණික සමීපවීමක් අපට දිස්වන්නේ තවත් වසර 60 කින් වන අතර එනම් 2080 වසරේ මාර්තු 15 වනදාය.

වසර 397 කට පසු සිදුවූ මෙම විශේෂ සිදුවීම 21 දා  සවස   06.45 පමණ සිට රාත්‍රී 8.20 පමණ දක්වා ක්ෂිතිජයට අංශක 20  ක් පමණ බටහිර හා නිරිතදිග දිශාවන් අතර දර්ශනය වූ අතර මෙම අවස්ථාව පර්යේෂණ මට්ටමින් නිරීක්ෂණය කිරීම ආතර්.සී. ක්ලාක් ආයතනය මගින් සිදුකරන ලදී. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර මහජන සැසියක් නොපැවැත්වූ අතර මෙම අවස්ථාව ආතර් සී ක්ලාක් ආයතනයෙහි ඇති  ලංකාවේ විශාලතම දුරේක්ෂයට දිස් වූ අයුරු  ආතර්.සී.ක්ලාක් ආයතනයේ www.accimt.ac.lk වෙබ් අඩවියෙහි ඇතුළත් වේ.

චින්තන විජයවර්ධන

නියෝජ්‍ය අධ්‍යක්ෂක (මාධ්‍ය )