Dawn Comet 45P

45P වල්ගා තරුව

2017 පෙබරවාරි මස මුල් සතියේ සහ දෙවන සතිය තුල 45P වල්ගාතරුව දීප්ත විශාලනය +8 කින් පමණ  නැගෙනහිර අහසේ  ඉර උදාවීමට කලින් දිස්වේ. දීප්ත විශාලනය +8 පමණ වන නිසා මෙම වල්ගාතරුව පියවි ඇසට දැකගැනීමට අපහසු වන අතර කුඩා දුරදක්නයක් හෝ ප්‍රිස්ම දෙනෙතියකින් නැරඹිය හැකි වේ.

අවුරුදු 68 කට පෙර එනම් 1948 මොන්රු හොන්ඩා (Moniru Honda)මෙම වල්ගාතරුව සොයාගන්නා ලදි.එයට සමාන්තරව මාර්කෝස් (Mrkos) සහ පජඩස්කෝවා (Pajdusakova) ද මෙය නිරීක්ෂණය කරන ලදි. එම නිසා මෙම වල්ගාතරුව 45P/ Honda – Mrkos – pajduskova ලෙස නම් කර ඇත.

බහුතරයක් වල්ගාතරු මෙන් මෙම වල්ගාතරුවද ඌට් (Oort) වලාවෙන් ආරම්භ වූවා යැයි සැලකේ. Oort වලාව යනු සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යාගේ සිට නක්ෂත්‍ර ඒකක 2000-50,000 අතර ඇති හිම වලින් සෑදුන ග්‍රහක කැබලි වලින් ගහන කලාපයක් වේ. සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යයාගේ හෝ බ්‍රහස්පති ග්‍රහයාගේ ගුරුත්ව බලපෑමට ලක්ව ඌට් වලාවෙන් මිදෙන සමහර ග්‍රහක කැබලි සූර්යයාට ලංවීමේ හැකියාවක් පවතී. එවිට එම ග්‍රහක කැබැල්ල සූර්යයා කෙන්ද්‍ර කර ගනිමින් ඉලිප්ස්සාකාර පථයක ගමන්ගනී. මෙම අවස්ථා දූමකේතුවක නැතහොත් වල්ගා තරුවක් ලෙස හැඳින්වේ. වල්ගා තරු අධ්‍යනය කිරීම මඟින් මෙම ඌට් වලාව ගැනද අවබෝධයක් ලබාගත හැක. එමඟින් සෞරග්‍රහමණ්ඩලයේ උපත පිළිබඳ අධ්‍යනය කිරීම මාර්ගයෙන් විවර වේ.

මෙම වල්ගාතරුවට 45P  යන නම ලැබී ඇත්තේ එය සොයා ගත් කාලාවර්තන (Periodic) වල්ගාතරු අතරින් 45 වන වල්ගාතරුව නිසාය. “P” මඟින් කාලාවර්තන (Periodic) වල්ගාතරුද “C” මඟින් කාලාවර්තන නොවන (non – periodic) වල්ගාතරුද අර්ථ දැක්වේ. මෙම වර්ගීකරණයට අනුව ප්‍රථම වල්ගාතරුව 1P/Halley, හේලිගේ දූම කේතුව වේ.

2017 පෙබරවාරි මස මුල් සතියේ සහ දෙවන සතිය තුල 45P වල්ගාතරුව අලුයම් කාලයේ නැගෙනහිර ක්ෂිතිජයේ නිරීක්ෂණය කල හැකි වේ. සිතිජයේ සිට වල්ගාතරුවේ උන්නතාංශය සහ එය දිස්වන කලාපය පහත වගුවේ සහ රූප සටහනේ දැක්වේ. මෙම වගුව සහ රූප සටහන සෑම දිනකම අලුයම 5.30ට දූමකේතුව දිස්වන තැන නිරූපණය කරයි.

Download coordinates

 

Download High Resolution image  (5th February)

Download High Resolution image  (6th February)

Download High Resolution image  (7th February)

Download High Resolution image  (8th February)

Download High Resolution image  (9th February)

Download High Resolution image  (10th February)