ආතර් සී ක්ලාක් ආයතනයේ සුහද හමුව දා……

ලංකාව තරම් සුන්දර රටක්, ලංකාව තරම් සම්පත් පිරුණු රටක්, ලංකාව තරම් ස්වභාව දහමේ ආශීර්වාද ලබන රටක් මම නම් ලෝකයේ කොහෙවත් දැකලා නැහැ. ලංකාවට තුන්සිය හැටපස් දවසෙම ඉර පායනව,.ජපානය කොච්චර ලස්සන ලස්සන රටක් වුනත් මේ වගේ ඉර පායන දවසක් දකින්න නැහැ. ජපානයේ ලස්සන දකින්න පුළුවන් වෙන්නේ අවුරුද්දකට මාස 4 යි.ඒ නිසා තමයි  ශ්‍රී ලංකාවේ උපන් අපි හරිම වාසනාවන්ත ය වෙන්නේ.

ලංකාවේ වැඩකරන ජනතාව ඉන්නවා ලක්ෂ 85 ක්. එයිනුත් රාජ්‍ය සේවකයන් ඉන්නේ මිලියන 1.5 යි. ඒ කියන්නේ ලක්ෂ 15යි. ඒ අතරිනුත් ආතර් සී ක්ලාක් ආයතනයේ සේවය කරන ඔබ  ඉතාම වාසනාවන්තයි. ඒ ලෝකප්‍රකට විද්‍යාඥයෙක්,විද්‍යා ප්‍රබන්ධකරුවෙක් විතරක් නෙමෙයි චන්ද්‍රිකා සන්නිවේදනයේ පියා, ආතර් සී ක්ලාක් මහතා නමින් තියෙන එකම රාජ්‍ය ආයතනයේ සේවකයෙකු ඔබ වීමයි. ඒ නිසයි ඔබ සැම සුවිශේෂී පුද්ගලයන් වෙන්නේ.

ඉතින් අද හරිම ලස්සන දවසක්. අද මගේ ජිවිතේ සුවිශේෂී අවස්ථාවකට සහභාගී වෙන්න ලැබුනා කියලා මට සතුටු වෙන්න පුළුවන්, ඒ ඔබ වැනි පිරිසක් ආමන්ත්‍රණය කරන්න ලැබීම. මුලින්ම හඳට ගියේ ඇමරිකානුවෙක්. එත් හඳෙන් ගෙනා පස් පරීක්ෂා කලේ ශ්‍රී ලංකික මහාචාර්යවරයෙක්. ඒ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම. ඔහු තමයි ඔබ සේවය කරන ආතර් සී ක්ලාක් ආයතනයේ මුල්ම අධ්‍යක්ෂකවරයා. අන්න ඒ නිසයි මේ ආයතනය ඔබට, මට, රටට, සුවිශේෂී ආයතනයක් වන්නේ යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ හා වාණිජ පිඨයේ ජේෂ්ඨ කථිකාචාර්ය, මානව සම්පත් කළමනාකරණ පීඨයේ හිටපු අංශාධිපති ආචාර්ය අරුණ. එස්.ගමගේ මහතා පැවසීය.

ඒ මහතා එසේ පැවසුයේ මොරටුව, කටුබැද්ද ආතර් සී ක්ලාක් ආයතනයේ වාර්ෂික සුහද හමුව හා සේවක පුහුණු වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මීපේ, පාදුක්ක කිතුල් කන්ද නිවාඩු නිකේතනයේ පැවති මෙම හරබර මෙන්ම විනෝදාත්මක වැඩසටහන සඳහා ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය කමෑල්ඩීන්,අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සනත් පනාවැන්නගේ ඇතුළු ආතර් සී ක්ලාක් ආයතනයේ සේවක මහත්ම මහත්මීන් සහ පවුල් වල සාමාජික සාමාජිකාවන් සහභාගී වුහ.