ජාත්‍යන්තර ජල රොකට් තරඟාවලිය මෙවර පිලිපීනයේ මැනිලා නුවරදී..

ආසියා-ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ තාක්ෂණ සංසදය සංවිධානය කරන 2016 ජල රොකට් තරඟාවලිය (APRSAF Water Rocket Competition) නොවැම්බර් 13 පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වේ.

අභ්‍යවකාශ සහ තාරකා විද්‍යාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ පුරෝගාමී මෙන්ම කේන්ද්‍රීය ආයතනය වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසින් මෙම ජල  රොකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් පාසැල් තරඟකරුවන් තෝරා ගෙන ඉදිරිපත් කිරීම  සිදුකෙරෙන අතර මේ සඳහා වන තරඟය පසුගියදා මොරටුව විශ්වවිද්‍යාලීය ක්‍රීඩාංගනයේදී  පැවැත්විණි.

ජාත්‍යන්තර තරඟ නීති වලට අනුව මෙම ජල රොකට් තරඟය  පවත්වනු ලැබූ අතර ඔවුන් අතුරින්  ජයග්‍රාහකයින් 3 දෙනෙකු තෝරා ගන්නා ලද අතර ඔවුන් අතුරින් ප්‍රථම ස්ථානය දිනාගත් බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ඒ.එම්.ශාලින්ත මෙලන්  සිසුවාට පිලිපීනයේ  මෙම  තරඟය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව හිමිවේ.එම  තරඟයෙන් අනෙක්  ස්ථාන දෙක  දිනාගත්  ජයග්‍රාහකයින් පිලිවෙලින්  දෙවන ස්ථානය  –  එස්.ජේ.එම්. නමිඳු හර්ෂණ  ධර්මදුත විද්‍යාලය ගාල්ල සහ තෙවන ස්ථානය  – සොන්නදරගේ ධනුෂ්ක ඇලෝසියස් විද්‍යාලය ගාල්ල ලෙස වේ.