ජල රොකට් නිර්මාණය පිළිබඳව ප්‍රායෝගික වැඩමුළුවක් ආතර් සී ක්ලාක් ආයතනයේදී

පාසල් ළමුන්ගේ රොකට් තාක්ෂණය සම්බන්ධ දැනුම වර්ධනය කරලීමේ අරමුණ ඇතිව නවීන තාක්ෂණ පිලිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ අභ්‍යවකාශ යෙදවුම් අංශය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජල රොකට් තරඟාවලිය මෙම වසරේදීද පැවැත්වෙන අතර ඒ සඳහා ප්‍රායෝගික වැඩමුළුවක් පසුගියදා ආතර් ස්ව්ව් ක්ලාක් ආයතනයේදී පැවැත්විණි.

මෙම ජල රොකට් තරඟාවලියේ ආරම්භය සිදු වුයේ ආසියා-ශාන්තිකර කලාපයේ රටවල එකමුතුවෙන් එම කලාපයට අයත් රටවල වෙසෙන මිනිසුන්ගේ ජීවන තත්වය අභ්‍යවකාශ තාක්ෂණය යොදා ගනිමින් ඉහල නැංවීම වෙනුවෙන් ගන්නා ලද පියවරක ප්‍රතිඵලයක් වශයෙනි. ආසියා-ශාන්තිකර කලාපීය අභ්‍යවකාශ තාක්ෂණ සංසදය වාර්ෂිකව සංවිධානය කරන මෙම ජල රොකට් තරඟාවලිය මෙවර  පැවැත්වෙන්නේ පිලිපීනයේ මැනිලා නුවරය .

2004 වසරේ ඕස්ට්‍රලියාවේ කැන්බරා නුවර පැවතී සමුළුවකදී ජාත්‍යන්තර ජල රොකට් තරඟය පැවැත්වීමට මුලින්ම තීරණය වූ  අතර 2005 වසරේ සිට එම තරඟය පැවැත්වීම ආරම්භ කරන ලදී. 2005 වසරේ ලොව පැවතී මුල්ම ජල රොකට් තරඟයෙන් ශ්‍රී ලංකාව තුන්වන ස්ථානය ලබා ගැනීම ද සුවිශේෂත්වයකි.

 මෙම වසරේ පවත්වන ජාත්‍යන්තර ජල රොකට් තරඟය  සඳහා ශ්‍රී ලංකාවෙන්ද පාසල් තරඟකරුවෙකු  තෝරා ගන්නා අතර එම තරඟකරු තෝරාගනු ලබන්නේ අගෝස්තු 12 වන දින පවත්වනු ලබන තරඟයකින් අනතුරුවය.

මේ සඳහා ප්‍රථමයෙන් ජල රොකට් සම්බන්ධ වැඩමුළුවක් පවත්වා ජල රොකට් සෑදීම , ලෝන්චරය සෑදීම සහ නියමිත ඉලක්කයට රොකට් පතිත කිරීම පිලිබඳ පුර්ණ දැනුමක් තරඟකරුවන්ට  ලබා දීම සිදු කරයි.

මෙහි සංවිධාන කටයුතු සිදු කරනු ලබන්නේ  තාරකා විද්‍යාව ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමේ පුරෝගාමී ආයතනයක් වන නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනය විසිනි. ජල රොකට් නිර්මාණය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් මෙන්ම රොකට් තාක්ෂණය පිලිබඳ න්‍යායන් ද සාකච්ඡා කරමින් මෙම ජාත්‍යන්තර ජල රොකට්  තරඟාවලිය සඳහා නිවැරදිව තරඟකරුවන් සුදානම් කිරීමේ අරමුණ ඇතිව ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥයන් වන සරාජ් ගුණසේකර, ඉන්දික මැදගංගොඩ , ජනක අඩස්සුරිය, චන්දන පීරිස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජල රොකට් නිර්මාණය පිළිබඳව මෙම වැඩමුළුව ආතර් සී ක්ලාක් ආයතනයේදී  පවත්වන ලද අතර එහි අවස්ථා කීපයක් මෙහි දැක්වේ.