ආතර් සී.ක්ලාක් 08 වන ගුණ සමරු දේශනය

ශ්‍රි ලංකාභිමාන්‍ය ශ්‍රිමත් ආතර් සී ක්ලාක් 08 වන ගුණ සමරු දේශනය මැයි 31 වැනිදා ප.ව 5.00ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ කමිටු “A” ශාලාවේදී පැවැත්විණි.

විද්‍යාඥයකු, විද්‍යා ප්‍රබන්ධකරුවකු මෙන්ම සඵල වූ විශිෂ්ට විද්‍යා අනාවැකිකරුවකු ලෙස විවිධ විෂය ක්ෂෙත්‍රයන්හි විශ්ව කීර්තියට පත් ශ්‍රිමත් ආතර් සී.ක්ලාක් මහතා ලොව වඩාත්ම ප්‍රසිද්ධ වුයේ 1945 දී “වයර්ලස් වර්ල්ඩ්” (Wireless World) සඟරාවට ලිපියක් යවමින් ඉදිරිපත් කළ, චන්ද්‍රිකා ත්‍රිත්වයක් භාවිත කරමින් කළ හැකි අන්තර් මහාද්වීපික විද්‍යුත් සන්නිවේදන ශක්‍යතාව පිළිබඳ ඓතිහාසික සංකල්පය වන “භූ ස්ථාවර චන්ද්‍රිකා ” සංකල්පය නිසා ය.

ආතර් සී ක්ලාක් මැතිඳුන් වෙනුවෙන් පවත්වන ගුණ සමරු දේශන මාලාව 2009 වසරේ සිට ආතර් සී ක්ලාක් ආයතනයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන අතර මෙවර පැවති 8 වන ගුණ සමරු දේශනය සඳහා ආරාධනා ලැබුයේ ඇමැරිකාවේ නාසා ආයතනයට අනුබද්ධ ජෙට් ප්‍රොපල්ෂන් විද්‍යාගාරයේ ජේෂ්ඨ පර්යේෂණ විද්‍යාඥ ආචාර්ය සරත් ගුණපාල මහතායි. “සෞරග්‍රහ මණ්ඩලය හා ඉන් එපිට වු විශ්ව ගවේෂණය” පිළිබඳ පැවැත්වු මෙම ගුණ සමරු දේශනය සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ගරු සුසිල් ප්‍රේම් ජයන්ත මැතිතුමා, විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ රාජ්‍ය අමාත්‍ය ගරු ලක්ෂ්මන් සෙනවිරත්න මැතිතුමා ඇතුළු විද්වතුන් රැසක් සහභාගි විය.