ලෝක ග්‍රහක දින වැඩමුළුව

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජුනි 30 දින “ලෝක ග්‍රහක දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර මෙම වැදගත් දිනය සමරමින් විශේෂ දේශන,වැඩමුළු,චිත්‍රපට දර්ශන ඇතුළු විශේෂ සැමරුම් වැඩසටහනක් පසුගියදා ආතර් සී ක්ලාක් ආයතනයේදී පැවැත්වුණි.

1908  ජුනි 30  දින සයිබීරියාවේ ටුංගුස්කා  ප්‍රදේශයට  කඩා වැටුණු ග්‍රහකයක් මගින් සිදු වූ විනාශය සමරනු වස් ජුනි 30 වන දින මෙලෙස නම් කර ඇත.මෙයට වසර මිලියන 65කට පමණ පෙර කිලෝමීටර 10ක ප්‍රමාණයේ ග්‍රහකයක් මෙක්සිකෝවේ චක්ෂුබි ප්‍රදේශයට කඩා වැටීමෙන් සිදු වූ මහා ව්‍යසනයෙන් එකළ පෘථිවියේ වාසය කළ ඩයිනොසරයන් පෘථිවියෙන් සම්පුර්ණයෙන්ම වඳ විය.මෑතකදී එනම් 2013 පෙබරවාරි මස 15  වන දින රුසියාවේ වෙලබනීසක් නගරයේදී අහසේ විනාශ වූ මීටර්  20 පමණ කුඩා ග්‍රහකයෙන් පුද්ගලයන් 1500 කට පමණ තුවාල සිදු විය.මෙලෙස පෘථිවියට තර්ජනයක් ලෙස පවතින විශාල ග්‍රහක ප්‍රමාණයක් අභ්‍යවකාශයේ පවතින අතර දැනට සොයාගෙන ඇත්තේ මින් අතලොස්සක් පමණි.පෘථිවිය හා ගැටීමේ අවධානමක් ඇති ග්‍රහකයන් දුරේක්ෂය මගින් නිරීක්ෂණය කළ විට එම ග්‍රහකයේ ගමන් මග වෙනස් කිරීම සඳහා කිසියම් වැඩ පිළිවෙලක් දියත් කිරීමට ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය වේ. එම නිසා එවැනි ග්‍රහක කල්තියා හඳුනා ගැනීම ඉතා වැදගත්ය. ජුනි 30 ලෝක ග්‍රහක දිනය වශයෙන් ප්‍රකාශයට පත්කිරීම තුලින් මහජනතාව මේ පිලිබඳව මනා දැනුවත් කිරීම මෙම සමරු වැඩසටහනේ අපේක්ෂාවයි.

මෙම විශේෂ වැඩමුළුවේදී  ඇමරිකාවේ සෞරග්‍රහ විද්‍යා ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය  නලීන් සමරසිංහ මහතා විසින් skype  තාක්ෂණය ඔස්සේ  ඇමරිකාවේ  සිට ප්‍රධාන දේශනය  පවත්වන ලදී. එතුමාගේ දේශනයෙන් පසු පාසල් දරුවන් සහ ගුරුභවතුන්ගේ ප්‍රශ්න රැසකට එතුමා පිළිතුරු  ඇමරිකාවේ සිට සපයන ලදී.    කොළඹ විශ්වවිද්‍යාලයේ  භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය චන්දන ජයරත්න මහතා විසින් පැවැත්වූ දේශනයේදී යකඩ වර්ගයේ ග්‍රහක කොටස්,    පාෂාණ  වර්ගයේ ග්‍රහක කොටස්,යකඩ සහ පාෂාණ මිශ්‍ර ග්‍රහක ආදී රැසක් පරීක්ෂා කිරීමේ අවස්ථාව පාසල් දරුවන්ට උදා විය. පසුව  ආතර්  සී ක්ලාක් ආයතනයේ විද්‍යාඥයන්  විසින් කෘතිමව ග්‍රහක නිර්මාණය කිරීම,ග්‍රහක කොටස් පොළොවට වැටීමෙන් ආවාට සෑදෙන අයුරු නිරීක්ෂණය කිරීම ආදී ආදර්ශ ඉදිරිපත් කරමින්  ප්‍රයෝගික වැඩමුළුවක්ද පැවැත්විණි  . මෙම වැඩමුළුවට සමගාමීව පාසල් දරුවන්ගේ “ලෝක ග්‍රහක දිනය” තේමා කරගත් චිත්‍ර ප්‍රදර්ශනයක් ද පවත්වන ලදී. එම වැඩමුළුවේ අවස්ථා කීපයක් පහත ඡායාරුප වලින් දැක්වේ.